fbpx
Home News “සුපිරි වාහන ගෙන්වීමේ ආණ්ඩුවේ සූදානම අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක්කරනවා”

“සුපිරි වාහන ගෙන්වීමේ ආණ්ඩුවේ සූදානම අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක්කරනවා”

by Kumara Jayakody

ප්‍රාඩෝ රථ ගෙන ඒමේ ආණ්ඩුවේ සූදානම ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බව ජාතික ජනබලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල පවසයි.

ඔහු මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය.

වටගල මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“ජාතික ජන බලවේගයේ නීතිඥ ප්‍රජාව ලෙස සුවිශේෂ කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමට තිබෙනවා. මේ වනවිට ජනතාව අතර සාකච්ඡාවට පත්වී තිබෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ජනමාධ්‍ය ඉලක්ක කරගෙන නිකුත් කළ ප්‍රකාශය සහ මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කර තිබෙන නිවේදනයට ශීර්ෂ යොදලා තිබෙන්නේ “සමාජ මාධ්‍යයට සමාජ ජාලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මඟින් මහජනතාව අතර අසමගිය, වෛරය ඇති කිරීම හා කොවිඩ් 19 මර්දනයට බාධා කිරීම” යනුවෙන්. පසුගිය 08 වැනිදා මේ ලිපිය නිකුත් කර තිබෙනවා.

වෘත්තීයවේදීන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආණ්ඩුවට දැවැන්ත විවේචනයක් විවිධ ක්ෂේත්‍රවලින් එල්ලවී තිබෙනවා. කාබනික පොහොර ආනයනය, මන්ත්‍රිවරුන්ට වාහන ආනයනය කිරීම, ඛනිජ තෙල් මිල ඉහළ දැමීම, කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාමාර්ග අසාර්ථක වීම වගේම පොලිසිය භාර අමාත්‍යවරයා නිරූපණ ශිල්පිනියක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම, යුරෝපා සංගමයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ගැන විවේචනය කිරීම යන මූලික විවේචන විශාල ප්‍රමාණයක් තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා මේ දැවැන්ත වංචාවන් සහ අසමත්කම් හෙළිකරන්න කාර්යභාරයක් කළා. ඒ අතරතුර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ නිවේදනය නිකුත් කරනවා. නිවේදනය තුළ “වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි” කියන කරුණ ඉහළට ගෙනත් තිබෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ සහ සාමාන්‍ය ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් කරුණු විමසන්න පටන් ගත්තා.

මේ සම්බන්ධයෙන් පවතින යථාර්ථය කුමක්ද? වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම කියන්නේ එක්තරා ආකාරයක දඬුවමක්. ලංකාවේ පුරවැසියකු අත්අඩංගුවට ගත යුත්තේ නිසි වරෙන්තුවක් සහිතව ඇවිල්ලා. එහෙම නොවන අවස්ථා තිබෙනවා. මේ වනවිට සම්මත කර තිබෙන නීතියේ කොටස් කිහිපයක් අරගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අලුතින් නීති පෙන්වනවා.

නමුත් ඔවුන්ගේ අරමුණ තියෙන්නේ වගන්ති දෙකකට. දණ්ඩ නීති සංග්‍රහයේ 120 එක වගන්තියක්. ඒකෙන් කියන්නේ වචනයෙන්, සංඥාවලින්, නිරූපණවලින් ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ජනයා වෛරයෙන් සහ අගෞරවයෙන් පෙලඹවීමක් කළොත් අත්අඩංගුවට ගත හැකි බව. මේ වගන්ති සම්බන්ධයෙන් තිබෙන පැහැදිලි කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන්නේ නැහැ. සාධාරණ විවේචනවලට මේ වගන්තියෙන් බාධා වෙන්නේ නැහැ. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය උපදින්නේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ. ඒ අනුව මහ රැජිනියට එරෙහිව කරන වැරදි සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා. මහරජා කියන වචනය 2021 අංක 5 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනය මඟින් වෙනස් කළා. එයින් කළේ මහරජා වෙනුවට ජනාධිපතිවරයා කියන වචනය ඇතුළත් කළා. හැබැයි අතීත තත්ත්වය අනුව ජනාධිපතිවරයා විවේචනය කරන්න බැරි බවට ආවරණයක් හදා ගත්තා. එංගලන්තයේ මහ රැජින හෝ මහරජා පත්වෙන්නේ මහජන ඡන්දයෙන් නොවේ. අපේ රටේ ජනාධිපතිවරයා පත්වෙන්නේ මහජන ඡන්දයෙන්. මේ නිසා 120 වගන්තිය ඇතුළේම විවේචනය කිරීමට තියෙන අයිතියට අභියෝග කරන්න බැහැ.

මේ සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් තිබෙනවා. තංගල්ලේ දේශපාලන පක්ෂ කාර්යාලයක “මහජරා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවමු” කියලා ගහලා තිබුණා. 120 වගන්තිය යටතේ පොලිස් ස්ථානාධිපතිවරයා චූදිතයෙක්ව අත්අඩංගුවට ගත්තා. අපි එය ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළා. අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ අයිතියත් 120 වගන්තියෙන් විවේචනය කිරීමේ අයිතියත් මෙයින් උල්ලංඝනය වුණේ නැහැ කියලා එස්.සී.එෆ්.ආර්168/2010 නඩුවක් පැවරුවා. මේ වෙනුවෙන් මම පෞද්ගලිකව පෙනී හිටියා. ශේ‍ර්ෂ්ඨාධිකරණය මේ අයිතිවාසිකම් පිළිගත්තා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීනුත් මහජනතාවට තිබෙන බව ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉහත නඩුවලදී තහවුරු කළා.

අපරාධ නීතියේ තියෙන සිද්ධාන්තය මිනිසුන් අත්අඩංගුවට ගැනීම නෙවෙයි. කිසියම් පුද්ගලයෙක් විමර්ශනයක් කරන්න අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා අනිවාර්ය නැහැ. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශනයෙන් අදහස් ප්‍රකාශ කරන්න සීමාවල් පනවන්න උත්සාහ කරනවා. නමුත් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් මීට අදාළව පැහැදිලි අර්ථ නිරූපණ දී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක දඬුවම් පනත මඟින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙක් රඳවා තබා ගැනීමේ අවස්ථාව මාස 18කට ලබාදී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ 1979දී. මේ පනතට අදාළව අමතක කළ වචනයක් තිබෙනවා. 1979 අංක 47 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත හැටියට නම් කළාට දැන් දශක කීයක් ක්‍රියාත්මක වෙනවාද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද ක්‍රියාත්මක කරන්නෙත් මේ තාවකාලික පනත. ඒ නිසයි යුරෝපා කොමිසමෙන් මේ පනත ඉවත් කරගන්න බලපෑම් කරන්නේ.

මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීමේ කැබිනට් සන්දේශයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා තියෙනවා. ජාතික ජනබලවේගය හැටියට අපි මේ සම්බන්ධයෙන් ලබන සතියේදී ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පවරනවා. මූලික කාරණා දෙකක් ඊට පදනම් කරගන්නවා. මැයි 18වැනිදා කැබිනට් පත්‍රිකාවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා තවත් වාහන අතර ප්‍රාඩෝ ජීප් රථ 227ක් ගන්න සූදානම් වෙනවා. නමුත් 24වැනිදා කැබිනට් මණ්ඩලයේදී ඒ තීරණය අත්හිටුවූ බව මාධ්‍යට ප්‍රකාශ කළා. නමුත් මාධ්‍ය ප්‍රකාශක ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් පරස්පර විරෝධී කතා දෙකක් කියා තිබෙනවා. ණයවර ලිපි නිකුත් කර තිබෙන නිසා ඒ වාහන ගෙන්වන්න සිදුවෙන බව කියා තිබෙනවා. ඒ අතරම ඊට පස්සේ කියනවා, වාහන ගෙන්වීම අත්හිටුවලා තිබෙන බව. හැබැයි මහා භාණ්ඩාගාර ලේකම් තවත් කතාවක් කියනවා. පෝට් සිටි පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රිවරුන්ට දෙන්න මේ ප්‍රාඩෝ රථ ගේන්න සූදානම් වෙන බව පැහැදිලියි. හැබැයි කැබිනට් සන්දේශය ඉදිරිපත් කළ 18වැනිදාත් එය අහෝසි කළ 24වැනිදාත් කියන දින දෙකටම කලින් අප්‍රේල් මාසේ 22වැනිදා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ණයවර ලිපි නිකුත් කරනවා.

මේ සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරනවා. ඊළඟට දෙවැනුව මහජන භාරය කියන නීතිමය සංකල්පය අනුව කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රට භාරදී තිබෙන්නේ අවුරුදු 5ක මහජන භාරයක් හැටියට. එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ නඩුවේදී, වෝටර්ස් ඒජ් නඩුවේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය මේ මහජන භාරය තහවුරු කර තිබෙනවා. මේ අනුව මහජන භාරය සිද්ධාන්තයට පටහැනි වීම නීතිය අභිභවා යන තත්ත්වයක්. ඒ නිසා අපි මේ බව ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනවා. කොවිඩ් – 19 මර්දනය කරන්න එන්නත් ටික ගන්න සල්ලි නැතිව ඉන්නවා. ඒ අතරේ මේ වාහන ගේන්න යනවා. මහජන භාරය ඒකද? ගොවියාගේ අස්වැන්නට ඍජුවම බලපාන පොහොර ටික නැහැ. විදෙස් සංචිත නැති නිසා පොහොර ගෙන්වන්නේ නැහැ. ඒ අනුව ගොවියත් එක්ක තියෙන මහජන භාරය ඉෂ්ට කරන්නේ නැහැ. මේ වගේ තත්ත්වයන් නිසා ණයවර ලිපිය අහෝසි කරන්න හෝ එහෙම බැරිනම් ඒ වාහනවල වෙළෙඳපොළ වටිනාකම මහා භාණ්ඩාගාරයට ලබාගන්න කියලා නියෝග කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ශේ‍ර්ෂ්ඨාධිකරණය මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා මහජන භාරයේ අයිතිය තහවුරු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

නීතිඥ නිර්මලා සිරිවර්ධන

“මම මෙහිදී අම්ම කෙනෙක් විදිහට, පුරවැසියෙක් විදිහට සහ කාන්තාවක් විදිහට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය දකින්න ඕනෑ කොහොමද කියලා පැහැදිලි කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය මූලික කරගෙන බරපතළ තත්ත්වයන් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවෝ කරුණු හොයා ගන්නේ අන්තර්ජාලය එක හරහා. ඒ වගේම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා. ඔවුන්ට යම් යම් කාරණා සම්බන්ධයෙන් විවේචනයන් තිබෙනවා. සමාජ පරිණාමයේ එක යුගයක රජ්ජුරුවෝ කියන දේ විශ්වාස කරන්න සිද්ධ වුණා. නමුත් එය සත්‍ය නෙවෙයි කියලා පසු කාලයක ඔප්පු වුණා. රජ්ජුරුවන්ගේ අත්අඩංගුවට අරගෙන වස පොවලා මරා දාපු විද්‍යාඥයන් හිටියා. එවැනි පසුගාමී සමාජයකට යන්න උත්සාහ කරනවාද කියන එක මේ මාධ්‍ය නිවේදනයෙන් අපිට සැකයක් මතු වෙනවා. අසත්‍ය හෝ වෛරීය ප්‍රකාශන සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවල පැහැදිලි අර්ථ නිරූපණ දී තිබෙනවා.

අනුරාධා හේරත් (www.mawbima.lk)

You may also like

Leave a Comment