fbpx
Home News “හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි”

“හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි”

by Kumara Jayakody

හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය,

“මේ වෙලාවේ රටේ අර්බුද රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ වන විට ආණ්ඩුව දිනපතාම අර්බුද සහ විහිළු සපයන තත්වයට පත්ව තිබෙනවා. ජනතාවක් හැටියට හෝ රටක් හැටියට දරා ගන්න බැරි තරමට ඒ නිසාම ප්‍රශ්න ඇතිවෙනවා. මේ තරම් සීග්‍රයෙන් රට කඩා වැටෙන තත්වයකට පත්කළ වෙන ආණ්ඩුවක් අපේ මතකයේ නැහැ. මේකේ බරපතළකම මේ මොහොතේදී විතරක් නෙවෙයි, රටේ මුළු අනාගතයම අර්බුදයට පත්වෙනවා. කරමින් ඉන්න විකාර වැඩ නිසා ආයතන, අර්ථිකය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඇතුළු හැම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටෙමින් තිබෙනවා. ජනතාව අපේක්‍ෂාභංගත්වයට පත්වී ඉන්නේ. ගොවීන්, ධීවරයින්, වතු කම්කරුවන්, ඇඟළුම් ක්‍ෂේත්‍රය, ස්වයං රැකියා වගේම අධ්‍යාපනයේ ගුරුවරුන්, ළමුන් සහ දෙමාපියන් හැම අතින්ම ප්‍රශ්නවලට ගොදුරු වෙලා. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.

ඒ අතර රටේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඇතුළු කිසිම දේකට ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ ගැන දැනුවත්කමකුත් නැහැ. රට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධතීන් විනාශ කරමින් යන ගමනක් තියෙන්නේ. මේ සියලු අර්බුද බැසිල් රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලබාගත්තාම විසඳන බවට මතයක් ගෙන යමින් ඉන්නවා. මෙච්චර කල් කීවේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා සියලු ප්‍රශ්න විසඳනවා කියලා. ඊට ඉස්සෙල්ලා කිව්වේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා ගැන. දැන් බැසිල් රාජපක්‍ෂ මහත්මයා ගැන කියනවා. මේ විහිළුව මොකක්ද? පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් එළියට දානවා. එක්කෙනෙක් ෆේල් වෙනකොට පැත්තකට දාලා අනෙක් එක්කෙනාව ගන්නවා. මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ? මේ ප්‍රශ්න විසඳන්න මැජික්කාරයෝ නැහැ කියලා කවදද තේරුම් ගන්නේ? මේ රට වැටිලා තියෙන්නේ මැජික්කාරයෙකුට කරගන්න බැරිවුණු නිසා නොවෙයි. පවතින දේශපාලන අධිකාරිය විසින් කාලයක් තිස්සේ තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් රටේ සියලුම පද්ධති මෙහෙයවීම නිසා තමයි මේ රට මෙතනට වැටිලා තියෙන්නේ.

සමාජය ගැන, දේශපාලනය ගැන, දැනුවත් ජනතාව ගැන සංවේදීත්වයක් තියෙන ප්‍රතිපත්තිගරුක සහ හැකියාවක් තියෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගන්න පිරිසක් දැන්වත් අවශ්‍යයි. එහෙම නැතිව පුද්ගලයෙක් මත රැඳුණු විකාර දේවල්වලින් මේ රට ගොඩනගන්න බැහැ. නමුත් මේ වෙලාවේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මිසක් එකිනෙකාගේ පිට දාලා ඉන්න නෙවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද දීලා ආණ්ඩුවක් පත්කළේ ප්‍රශ්න විසඳන්නයි. කොවිඩ් තත්වය එක්කත් මිනිස්සු විශාල ආර්ථික අසීරුතාවයකට වැටිලා. රටක් හැටියටත් එහෙමයි. මිනිස්සු බඩගින්න දරා ගන්න බැරිව පාරට බහින තත්වයකට ඇවිත් තියෙන්නේ. ඔවුන්ගේ විරෝධයන් දක්වන්න පාරට බහින එක වළක්වන්නයි ආණ්ඩුව අවධානය ලොක්ඩවුන් එක පාවිච්චි කරන්නේ.

ලොක්ඩවුන් එක කොරෝනා මර්දනය වෙනුවෙන් හිරියට යෙදවූවේ නැහැ. හරියට යෙදවූවා නම් ආසාදිතයන් අඩුවී මරණ අඩුවෙන්න ඕනෑ. සංඛ්‍යාලේඛනවල අඩුවීමක් තියෙන්නේ පී.සී.ආර්. අඩුකිරීම නිසා කියලා අපි දන්නවා. ආණ්ඩුව කරන්නේ කොවිඩ් පාලනය නොවෙයි. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා කොවිඩ් යොදා ගැනීමයි. ජනතාවගේ ප්‍රශ්න ගැන හැඟීමක් නැති මෙවැනි ක්‍රෑර පාලනයක් පවතින බව ජනතාව අත්විඳිමින් ඉන්නේ. මේ තුළින් ජනතාවට දේශපාලන පාඩම් ගොඩක් කියලා දෙනවා. මේ තත්වය වෙනස් කරන්න මැදිහත් විය යුත්තේ කොහොමද කියලා මේ තත්වය තුළින් කියා දෙනවා. අමාරුවෙන් හරි මේ තත්වය තුළ ඉගෙනගෙන වෙනස් කරන්න මැදිහත් විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා විශාල අර්බුද ප්‍රමාණයක් තිබෙනවා. තාක්‍ෂණික ප්‍රශ්න නිසාම නෙවෙයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසමානතා කොවිඩ් කාලය තුළ සීග්‍රයෙන් වර්ධනය වෙනවා. රජය ඊට දෙන එකම පිළිතුර ඔන්ලයින් අධ්‍යාපනය විතරයි. ප්‍රායෝගික ප්‍රශ්න සහ තාක්‍ෂණික ප්‍රශ්න ගැන කිසිම අවධානයක් නැහැ. මේ වෙලාවේ අවශ්‍ය දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනය සහ ඔන්ලයින් අධ්‍යාපනය අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ වෙනස තේරුම් ගන්නවත් අධ්‍යාපන ඇමතිවරයාට හැකියාවක් නැහැ කියන එක ඔප්පු වෙනවා. දුරස්ථ අධ්‍යාපනයට ක්‍රමවේද කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. රූපවාහිනිය, රේඩියෝව සහ නවීන වෙනත් ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. ළමයින්ගේ වයසට සුදුසු සහ පවතින අර්බුදයට ගැලපෙන විදිහට අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන්. නමුත් අවුරුදු එක හමාරක් පුරා මේ අධ්‍යාපනයෙන් ඉතිරි කරලා තියෙන්නේ ළමුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ලොකු බරක් සහ වේදනාවක් විතරයි. වහාම මැදිහත් වී අත්හැරී තිබෙන අධ්‍යාපනය ගැනත් සංවේදී වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

විෂය නිර්දේශ වෙනස් කළ යුතු නම් එය කරන්න වෙනවා. විභාග පවත්වන කාල වෙනස් කළ යුතු නම් කළ යුතුයි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ක්‍රමවේද ගැන නැවත හිතා බලන්න වෙනවා. ඒ වගේ හැම ක්‍ෂේත්‍රයක් ගැනම අවධානයක් යොමු කරන්න ඕනෑ. එසේ නොකිරීමෙන් අපේ තරුණ පරපුරට බරපතල අසාධාරණය ආණ්ඩුව විසින් කරමින් ඉන්නවා. පවතින අධ්‍යාපනයේ මේ බරපතළ ප්‍රශ්න පවතිද්දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රනිල්, මෛත්‍රී ආණ්ඩුව මේ පනත ගෙනා වෙලාවේ පැන නැගුණු විරෝධය නිසා පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැහැ. නමුත් මේ ආණ්ඩුව නැවත එය ගෙනත් තිබෙනවා. මේ පනත තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තරව ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ උසස් අධ්‍යාපන පරිපාලන යාන්ත්‍රණයක් ඇති කරනවා. එය කොතලාවල විශ්වවිද්‍යාලයට විතරක් නෙවෙයි. වෙනත් උපාධි පිරිනමන ආයතනවලට ඉඩ ලබා දෙනවා. පාසැල් පවා පවත්වාගෙන යන්න ඉඩ ලබා දෙනවා. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ මෙරට ස්ථාපිත කරන්න සූදානම් වෙනවා.

මේ තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වෙනවා. ලෝකයේ කොහේවත් අධ්‍යාපනය හමුදාවකට බාර දෙන්නේ නැහැ. හමුදාවට අවශ්‍ය පුහුණුවීම් කරන්න වෙනම ආයතන පවත්වාගෙන යෑම ගැටලුවක් නැහැ. නමුත් සිවිල් ජනතාවට අධ්‍යාපනය ලබාදීමට හමුදාව යෙදවීම තුළින් අධ්‍යාපනය විකෘති වෙනවා. උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන අරමුණු කරා කිසිසේත්ම යන්න බැහැ. අනෙක් පැත්තෙන් මහජන මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යන්නත් සූදානම් වෙනවා. නමුත් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කිරීමත් සිදු කරනවා. මෙය නිදහස් අධ්‍යාපනයට පටහැණි ව්‍යූහයක්. මේ ප්‍රශ්න සියල්ල මැද්දේ ගෙනත් තිබෙන මේ පනත වහාම හකුළා ගන්න කියලා අපි බල කරනවා. එයට විරුද්ධ වන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවලින් සහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.”

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක,

“දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ආධිපත්‍යය එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් පවත්වාගෙන ආවා. මේ ආධිපත්‍යයට චීනය අභියෝග කරමින් ඉන්නවා. මේ අවස්ථාවේ අපි වාගේ රටවල් කළ යුතු වෙන්නේ මේ බල අරගලයට මැදිහත් නොවී සිටීමයි. නමුත් චීනයේ එක් තීරයක්-එක් මාවතක් සැලැස්මට මැදපෙරදිග ඉරානය සහ දකුණු ආසියාවේ ලංකාව ඇතුළත් වෙනවා. ඒ වෙනුවෙන් ටි්‍රලියන 04ක් චීනය වැය කරනවා. ලෝක බල කේන්ද්‍රය මාරු වීමේ ගමන් මගක් දැන් තියෙන්නේ. ලංකාවට මේක වෙනස් කරන්න බැහැ. එය අපේ කැමැත්තෙන් පරිබාහිරව සිද්ධ වෙන දෙයක්. නමුත් අපේ සංවර්ධන උපායමාර්ග, විදේශ ප්‍රතිපත්තිය, සැලසුම් කරමින් මේවාට හසු නොවී ඉදිරියට යන්න පුළුවන්. නමුත් රාජපක්‍ෂ පරම්පරාවට එහෙම අදහසක් නැහැ. චීනයේ ව්‍යාපෘති රැසක් ගෙනත් තිබුණත් ඒ එකකින්වත් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කන්කසන්තරේ සම්මන්ත්‍රණ ශාලාව, පෝට් සිටිය මේ ආදී සියල්ලෙන් අපේ පරම්පරාවට නෙවෙයි, පරම්පරා ගණනාවකට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ.

චීන සමාගම්වලින් රාජපක්‍ෂවරුන්ට අල්ලස් දීම සම්බන්ධයෙන් චෙක්පත් අංක, නිකුත් කළ අංක, දින ආදී සියලු විස්තර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී හෙළි කරලා තියෙන්නේ. ලෝකයේ කිසිම රටක් පාලක පංතියට මේ වගේ කප්පම් දීලා නැහැ. මේ ආකාරයට අපේ රට චීනයේ මුරපොළක් හැටියට පවත්වාගෙන යනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අර්ධ මිලිටරි පරිපාලනයක් පිහිටුවමින් මුරපොළ ශක්තිමත් කරන්න කටයුතු කරනවා. මේකට විරුද්ධව ඇමරිකාවත් ඉන්දියාවත් පසුගිය සති තුන තුළ ප්‍රධාන තීන්දු ගණනාවක් ගත්තා. මුලින්ම ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙත්යාහු ඉවත් කළා. දෙවැනි පියවර හැටියට ජී-7 කණ්ඩායම කැඳවා චීනයට තරඟයක් දීම සඳහා එකඟත්වයකට ආවා. ඊළඟට යුද පෙරමුණ හැටියට ක්‍රියා කරන නේටෝ සංවිධානය කැඳෙව්වා. ඊට අමතරව රුසියාවේ පූටින් හමුවී න්‍යෂ්ටික බලය පිළිබඳව සාකච්ඡා කළා. මේ ක්‍රියාදාමයට පස්සේ ඉන්දියාව ලංකාවේ චීන හැසිරීම් බලන්න ඩ්‍රෝන යාත්‍රා මිලදී ගන්න සූදානම් වෙනවා. ඒ වගේම ප්‍රංශයෙන් ප්‍රහාරක යානා ඇනවුම් කළා. මේ අතරතුර යුරෝපා සංගමය රැස්වෙලා ලංකාවේ සිවිල් පරිපාලනය බිඳ වැටීම සහ මෙරට මානව හිමිකම් කඩකිරීම පිළිබඳව විරෝධය දක්වමින් යෝජනාවක් සම්මත කරගත්තා.

මේ යෝජනා සම්මතය නිසා ජී.එස්.පී. ප්ලස් සහනය නැතිවීමේ අනතුරක් දැන් තියෙනවා. මීට මුහුණ දීම සඳහා නාමල් රාජපක්‍ෂ මැදිහත් වී එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරන බව කීවා. ඒ අනුව 24වැනිදා සිරකරුවන් කොටසක් නිදහස් කළා. නමුත් ඒ අය මාස කිහිපයක් ඇතුළත නිදහස් වෙන්න නියමිතව සිටි අය බව වාර්තා වෙනවා. නමුත් මේ අය ඉල්ලන්නේ නඩු නැත්නම් සියලු දෙනා නිදහස් කරන්න කියලයි. එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ වුණාට හිටපු නායකයෝ ඔක්කොම එළියේ ඉන්නේ. ප්‍රභාකරන් ළඟට හිටපු ඊළඟ නායකයා ළඟ තිබුණු වස්තු සම්භාරයට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ තත්වය යටතේ ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තර දේශපාලන බලපෑම් විතරක් නෙවෙයි යුදමය බලපෑම් පවා එල්ල වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා රට ජාත්‍යන්තර බල අරගලයේ ගොදුරක් බවට රාජපක්‍ෂලා විසින් පාවා දීලා තියෙන්නේ. ප්‍රභාකරන් මිය ගියාට මේ රටට ඔහුගේ යුද උමතුවේ සාපය දකුණේ මිනිස්සුන්ගේ මනසට දීලයි ගියේ. රනිල්-මෛත්‍රී කරපු පිස්සුව නිසා දකුණේ බහුතරයක් කල්පනා කළේ යුද්ධය ජයග්‍රහණය කරපු අයට රට ජයග්‍රහණය කරවන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් පකිස්ථානය, බුරුමය දියුණු වෙන්න ඕනෑ. හමුදා පාලනයකට පුළුවන් වන්නේ මිනිස්සු බය කරලා තියා ගන්න විතරයි.

රටක් දියුණු කරන්න නම් සිවිල් සමාජය සහභාගි වෙන්න ඕනෑ. සිවිල් සමාජය බය කරලා, නිවාස අඩස්සියේ තියලා රටක් දියුණු කරන්න බැහැ. අද වෙනකොට දාලා තියෙන සංචරණ සීමාවලින් මේ රටේ එදිනෙදා වියදම් හොයා ගන්නා 40%ක් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. ගොවියන්ගේ නිෂ්පාදන විකිණෙන්න නම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. නමුත් මේ වෙනකොට ආර්ථිකය සම්පූර්ණයෙන්ම එකතැන නතර වෙලා තියෙන්නෙ. මිනිස්සු අතේ සල්ලි නැහැ. ඒ අතරේ මහ බැංකුවේ නියෝගයක් අනුව තෙල් මිල වැඩි කළ බව හෙළි වෙනවා. වැඩි නොකළොත් රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන බවට අනතුරු ඇඟවූ බව කියනවා. මේ තොරතුරු හෙළිදරව් වී බැංකුවලින් සල්ලි ගන්න මිනිස්සු පොරකෑවොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. මේ සියල්ල මැද්දේ ආණ්ඩුවට යන එනමං නැතිවී එක කොටසක් තව කොටසකට විරුද්ධව පෙළගැහෙනවා. ඒ අනුව වෙන මාවතකට යන්න පුළුවන්ද බලනවා. එක ඉඟියක් තියෙනවා, අයි.එම්.එෆ්. එකත් එක්ක යන්න. ඒ ගොල්ලෝ අඩු පොලියට ණය දෙන්නේ සියලු දේවල් පෞද්ගලිකකරණය කිරීමේ පැකේජ් එකත් එක්ක. ජනතාවගේ සහන කප්පාදුවත් එක්ක. චීනය සූරාගෙන කනවා වගේ තමයි ඒ ගොල්ලොත් සූරාගෙන කන්නේ.

බැසිල්ගේ පැමිණීම සහ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීම එකම ලයින් එකේ වැඩක්. නමුත් ජාතික ජන බලවේගය හැටියට අපි හඳුනාගන තියෙන්නේ මේ දෙගොල්ලගේම සැලසුම් එකක් බව. චීනය සූරා කනවා වගේම අයි.එම්.එෆ්. එක ජනතාවගේ පටි තද කරගන්න කියලා නියෝග පනවනවා. ජාතික ජන බලවේගයේ අපි කියන්නේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන මාවතකට රට යොමු කරන්නයි. ජනතාව රාජපක්‍ෂලාගෙන් සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් චීනයේ ගොඩනැගිලිවල ලස්සන බල බලා ඉන්න පුළුවන්. නොනිල රාජපක්‍ෂ රජ පවුලේ සංකේතයක් වන නෙළුම් කුළුණ ශිවලිංගයක් වගේ වන්දනා කරන්නත් පුළුවන්. නමුත් ඒ කිසිවක ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ රටේ සංවර්ධන සැලැස්මක් කියලා ඔවුන් යෝජනා කරන්නේ වැඩියෙන් කොමිස් කුට්ටි ලැබෙන ව්‍යාපෘතියි. ජනතාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ජනතාව පරම්පරා ගණනාවක් ණය ගෙවන්න ඕනෑ. ඒ නිසා මේ දෙගොල්ලගේ මේ දුර්දාන්ත පාලනයන් වෙනුවට ජාතික ජන බලවේගය වටා ඒකරාශි වෙමින් ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

“අපි මුලදිත් පැහැදිලි කළේ පුද්ගලයෙකුට මේ ප්‍රශ්නවලින් රට ගොඩ ගන්න බැහැ කියලයි. බැසිල් රාජපක්‍ෂ මෙහේ ඉඳලනේ ගියේ. ජනාධිපති කාර්ය සාධක බලකායේ වගකීම් ගොඩක් දීලයි තිබුණේ. ඔහු මාසයක් මේ රටේ නොහිටි නිසාද මේ ප්‍රශ්න මතුවුණේ? එහෙම නෙවෙයි. මෙතන තියෙන්නේ ආණ්ඩුවේ සියලු දෙනාගේ ප්‍රශ්නයක්. ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක්. මේ තියෙන බැරෑරුම් ප්‍රශ්නවලට බැසිල් රාජපක්‍ෂ එනවා කියලා විසඳුම් ලැබෙන්නේ නැහැ. බැසිල් රාජපක්‍ෂ කොහොමද පාර්ලිමේන්තු ආවා කියලා තෙල් මිල පාලනය කරන්නේ? කැබිනට් මණ්ඩලයට, විෂය භාර ඇමතිට, ජනාධිපතිට එහා බලයක් බැසිල් රාජපක්‍ෂට තිබුණාද? ඒ මත දැක්වීම් තාර්කික නැහැ. ආණ්ඩුවේ පිරිහීමත් එක්ක ඔවුන් විකාර වෙලා ඉන්නේ. අපිව සනසන්න එක එක ඒවා දානවා. ජනාධිපතිවරයා ජනතාව ඇමතුවා කියලා ඔක්කොම ප්‍රශ්න විසඳෙනවාද? එහෙම විසඳන්න බැහැ. දැක්මක් තියෙන්න ඕනෑ. වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. ඩීල් ගහ ගහා එදිනෙදා උත්තර හොයන ක්‍රමයක් නිසා තමයි අපි මේ තත්වයට වැටිලා තියෙන්නේ.
බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට ඇවිත් කැබිනට් ඇමතිකමකුත් හිමි කර ගනීවි. ඔය ලණු අපි ආයෙත් කන්නද යන්නේ? ජනමාධ්‍ය හැටියට ඔය ලණු ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී හිටියොත් හොඳයි කියලා අපි හිතන්නේ. අපි ලණු කෑවා ඇති. නාටක තිරගත කරලා අපේ ඇත්ත ප්‍රශ්න යට ගහනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ආපහු පාර්ලිමේන්තුවට ආවේ ඔවුන්ගේ මොනව හරි සැලසුම් ඇති. අවුරුදු 72ක් තිස්සේ ඔය සැලසුම්වලින් රට මේ තත්වයට වැටුණනේ. ඩීල් දේශපාලනයේ ඔය ලණු කන්න එපා කියලයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ්. එක පැත්තට හැරෙන්න උත්සාහ කරනවා. මේ ප්‍රොජෙක්ට් එකේ රනිල් වික්‍රමසිංහත් ඉන්නවා. බැසිල් රාජපක්‍ෂත් ඉන්නවා. ඊට අමතරව මිලින්ද මොරගොඩත් ඉන්නවා. චීන ආර්ථික මොඩල් එකෙන්වත් අයි.එම්.එෆ්. මොඩල් එකෙන්වත් මේ රට සංවර්ධනය කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහත් එක්ක ජාතික ආණ්ඩුවත් පිහිටුවා ගන්න උත්සාහ කරයි. නමුත් මේ මාවතේ තවදුරටත් ඉදිරියට යන්න බැහැ. ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කර තිබෙන විකල්ප මාවත වටා ඒකරාශී වන්නැයි අපි ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment