fbpx
Home News “යෝජිත කොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක්…”

“යෝජිත කොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක්…”

by Kumara Jayakody

රට තීරණාත්මක සන්ධිස්ථානයක පැමිණ තිබෙන මේ මොහොතේ තවත් විශේෂිත හානිදායි පියවරකට එළඹෙමින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රශ්න ගණනාවක් පැන නගිනවා. එයින් නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක් සිදුවන අතර ඒ පිළිබඳව කරුණු රැසක් මේ වනවිට අප හඳුනාගෙන තිබෙනවා. අධ්‍යාපනය අයත් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි. හැබැයි යෝජිත පනත් කෙටුම්පත මගින් මේ උසස් අධ්‍යාපන ආයතනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. උපාධි ප්‍රදානය කිරීම, ඩිප්ලෝමා ප්‍රදානය කිරීම, පර්යේෂණ පැවැත්වීම, සහතික පත් ප්‍රදානය වැනි සියලු කාර්යයන් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිදුකිරීම නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක්. යෝජිත පනත් කෙටුම්පත මගින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කර නැහැ.

වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන. ඉහළම ලකුණු ලබාගන්නා සිසු දරුවන් බඳවා ගන්නවා. යෝජිත පනත් කෙටුම්පත මගින් එහෙම නිශ්චිත නිර්ණායක දක්වා නැහැ. නිර්ණායක තීරණය කරන්නේ අදාළ ආයතන මගින්. නමුත් මේ පනත සම්මත වීමෙන් පසුව බලධාරීන්ට හිතවත් අඩු සුදුසුකම් සහිත කණ්ඩායම් විශ්වවිද්‍යාල ආයතනයක් තුළට ඇතුළත් කරගෙන උපාධි හෝ ඒ හා සමාන සහතික පිරිනැමීමේ ක්‍රියාමාර්ග ගත හැකියි. ශිෂ්‍යයන් බඳවා ගැනීම විතරක් නෙවෙයි, අනෙකුත් කාර්ය මණඩල සහ ආචාර්යවරු බඳවා ගැනීමේදීත් මේ තත්වයම දකින්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයට වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනයටත් මෙය බරපතළ ගැටලුවක්. මේ කෙටුම්පතින් යෝජනා කරන විවිධාකාරයේ නිදහස අහිමි කිරීමේ තත්වයන්ද තිබෙනවා.

හමුදා නිලධාරීන්ට ඔවුන්ගෙ අවශ්‍යතා අනුව වෘත්තීය පාඨමාලා සකස් කිරීම අපට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරක්‍ෂක අංශවලින් පිට වෙනත් ඕනෑම විෂයයක් පිළිබඳ උපාධි සිට පශ්චාද් උපාධි දක්වා පිරිනමන්න වාතාවරණය වෙයින් නිර්මාණය කර දෙනවා. මේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ ඉඩ ලැබෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ යහපැවැත්ම වෙනුවෙන් ශිෂ්‍ය සංගම් විශාල දායකත්වයක් සපයනවා. මම ඒ බව කියන්නෙ පීඨාධිපතිවරයෙක් වශයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 09ක අත්දැකීම් තුළින්. නමුත් මේ පනත් කෙටුම්පත තුළින් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය, විෂය බාහිර ක්‍රියාකාරකම් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩා කටයුතු හැරුණාම සාහිත්‍ය සංගමයක්වත් පිහිටුවා ගන්න ඉඩක් නැහැ. අධ්‍යාපනයේ මූලික පදනම් සියල්ල බිඳ දමමින් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.
සාමාන්‍ය විශ්වවිද්‍යාලයකදී අධ්‍යාපනයට අදාළ ඕනෑම සංශෝධනයක්, නව විෂය නිර්දේශයක් හෝ වෙනත් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කරන්නේ අධ්‍යයන අංශ ප්‍රවීණයන්ගේ මූලික සාකච්ඡාවක් තුළින්. ඉන්පසු වෙනත් විශේෂඥ අදහස් ලබාගෙන පීඨ මණ්ඩලයේදී ගැඹුරින් සාකච්ඡා කරනවා. ඉන් පසුව විෂය අධ්‍යයන කමිටුවකට යොමු කරනවා. එහිදී වඩාත් ගැඹුරින් සාකච්ඡා කරලා සනාතන සභාවේදී නැවත ගැඹුරු සාකච්ඡාවකට ලක්වෙනවා. මේ විධිමත් ක්‍රමවේදය යෝජිත පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ ආයතනවල ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ල කෙරෙනවා වගේම මුදල් අයකර පාඨමාලා පවත්වාගෙන යන මෙවැනි ආයතන ගණනාවක් ඉදිරියේදී බිහි වෙන්න ඉඩ තිබෙනවා. යහමින් මුදල් තිබෙන සීමිත පිරිසකට පමණක් ඉඩකඩ විවර කරන බරපතළ පනත් කෙටුම්පතක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබන සියලු දෙනා මෙයට එරෙහිව පෙළගැසෙන්න මම ආරාධනා කරනවා.



ජාතික විද්වත් සංවිධානයේ සභාපති, මහාචාර්ය චන්දන අබේරත්න

You may also like

Leave a Comment