fbpx
Home News ආණ්ඩුව හදන්නේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන තැනත් විනාශ කරන්න

ආණ්ඩුව හදන්නේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන තැනත් විනාශ කරන්න

by Kumara Jayakody

ආණ්ඩුව හමුදාවට අධ්‍යාපනය ලබා දෙන්න තිබෙන තැනත් විනාශ කරන බව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයෙ (22දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
පසුගිය ජූලි 16 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ඇතුළත් කරන්න යන සංශෝධන මේ වනවිට රටේ විශාල සංවාදයකට ලක්වී තිබෙනවා. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කර ඡන්ද විමසීම පසුවට කල් දැම්මා. මේ පනතට එරෙහිව රට පුරා මතුවුණු උද්ඝෝෂණ නිසා ඡන්ද විමසීම කල් දැම්මා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයෝ, දේශපාලන පක්ෂවල සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණ පැවැත්වූවා. දැනට ආරංචි විදිහට අගෝස්තු 06 වැනිදා ඡන්ද විමසීම කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව සමාජ කතිකාව නිසා බෞද්ධ උපදේශක කාරක සභාව කැඳවලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා අදහස් කළේ මේ පනත ගැන වුණාට ඔහු කීවේ, ඔහුගේ මාධ්‍ය අංශය රටට කීවේත් යූ.ජී.සී. පනත සංශෝධනය කරනවා කියලා.
දැන් සංවාදයකට ලක්වී තිබෙන 1978 අංක 16 දරන පනතෙන් පිහිටුවූයේ යූ.ජී.සී. එක විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල කුලපතිවරුන්, උපකුලපතිවරුන් පත්කිරීම, ශිෂ්‍ය සංගම් පිහිටුවීම, විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල ආදී කොටස් 21ක් මේ පනතෙන් ආවරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ ඒ අතරෙන් කොටස් දෙකක් ආවරණය වීමක් පමණයි. ජනාධිපතිවරයා සහ ඔහුගේ මාධ්‍ය ඒකකය ඔවුන්ගේ දැනීම අනුව ප්‍රකාශ කර තිබෙන්නේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත ගැන වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේ 16 වැනිදා හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කර 1978 අංක 16 දරන පනතට යම් සංශෝධනයක් එකතු කරනවා. මේ සංශෝධනය මඟින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට අප එල්ල කර තිබෙන විවේචන කිසිවක් මඟහැරෙන්නේ නැහැ. එම පනත හරහා මිලිටරි යාන්ත්‍රණය උපයෝගි කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර වෙනත් යාන්ත්‍රණයක් යෝජනා කර තිබෙනවා. නව සංශෝධනයෙන් ඒ යාන්ත්‍රණය අඩපණ වෙන්නේ නැහැ. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන, ශිෂ්‍යයන් බඳවා ගැනීමේ නිර්ණායක හදන, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගන්න සහ එහි විෂය පථය තීරණය කරන ආදී සියලු බලය මේ මිලිටරි යාන්ත්‍රණයට ලැබෙනවා. ඒ පාලක මණ්ඩලය නව දෙනකුගෙන් සමන්විතයි. එයින් 07 දෙනකු ආරක්ෂක අංශවලට සම්බන්ධයි. එයින් පස් දෙනකු සක්‍රිය හමුදා සේවයේ නිරත වෙන අය.
මේ විශ්වවිද්‍යාලය ඇතුළේ අනෙක් විශ්වවිද්‍යාලවල දක්නට නොලැබෙන මූලස්ථානය කියලා ව්‍යුහයක් යෝජනා කර තියෙනවා. විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සහ පරිපාලනය සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ මේ මූලස්ථානය මඟිනුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළත් වන පනතේ මොන වෙනස්කම් කළත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලන යාන්ත්‍රණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ජනාධිපතිවරයා වැදගත් ප්‍රශ්නයකට මේ රටට උත්තර දෙන්න ඕනෑ. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න සූදානම් වන්නේ තවදුරටත් මිලිටරි විශ්වවිද්‍යාලයක් හැටියටද එහෙම නැත්නම් සිවිල් ශිෂ්‍යයන්ට අයත් විශ්වවිද්‍යාලයක් හැටියටද කියන තීරණාත්මක ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑ. ආරක්ෂක අංශවල අයයි, සිවිල් ශිෂ්‍යයොයි පටලවාගෙන තවත් ජංජාලයක් වෙන්නේ. ත්‍රිවිධ හමුදාවල ඉන්න කැඩෙට් නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ජාතික ජන බලවේගය කිසිම විටෙක විරුද්ධ වෙන්නේ නැහැ. ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබාදීලා විශේෂඥභාවයක් සහිතව ඉදිරියට ගෙනයන්න කිසිවිටකත් විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම නම් ජනාධිපතිවරයා ඒ මිලිටරි අභිලාෂය සහිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දියුණු කරන්න ඕනෑ. ‍දොන් නම් දොන්, සිමන් නම් සිමන්. දෙකක් බැහැ. මේ දෙක පටලවා ගත්තාම අපේ රටේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන්න තිබෙන තැනත් විනාශ කරනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වයත් විනාශ කරනවා. උසස් අධ්‍යාපනයට සම්බන්ධ සංශෝධන කිරීමේදී හිතළු මත, උද්දච්ඡ තීන්දු මත කරන්න බැහැ. එහි ආදීනව වසර ගණනාවකින් අත්විඳින්න සිද්ධ වෙනවා. සහල් ගැසට් එකක් ගහනකොට. රසායනික පොහොර තහනම් කරනකොට අනුගමනය කළ ක්‍රමවේද උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් ගන්න ජනාධිපතිවරයාට බැහැ. ඉදිරිපත් කර තිබෙන සංශෝධනය මඟින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට අප එල්ල කරන ලද විවේචනයට කිසිසේත්ම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා කළ යුතු වන්නේ ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වහාම ඉවත් කරගන්න එකයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න අවශ්‍ය නම් එය පුළුල් සංවාදයකින් පසුව කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය
1981 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ ඊට පස්සේ කළ සංශෝධනවලත් ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීම කියන විශේෂ කාර්යයක් පැවැරී තිබුණා. නමුත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හැටියට 2018 ගෙනා පනත තුළින් ඒ විශේෂ කාර්යය අහෝසි කරලා. වර්තමාන ආණ්ඩුව දැන් ගෙනත් තිබෙන්නේ ඒ පනතමයි. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් විශේෂ කාර්යයක් ඉටු කරන තැනක් විදිහට හඳන්වන්න බැහැ.
මොන වගේ තර්කයක් තුළ මේ සංශෝධන ගේනවාද කියලා හිතාගන්න බැහැ. කොතලාවල පනතට ගෙනා ප්‍රධාන විරෝධය අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම ගැන. ඒ ව්‍යුහය කිසිසේත්ම වෙනස් නොකර සිවිල් පරිපාලනයක් තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ මිලිටරි ආයතනය ඔබන්න යනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සමාජයෙන් ආපු විරෝධයට මතුපිටින් දක්වන පිළිතුරක් හැටියට ආණ්ඩුව මේ විශ්වවිද්‍යාලය යූ.ජී.සී. එක යටතට පවරා ගන්න බව කීවා. නමුත් මේ තුළින් කිසිම පැහැදිලි තත්ත්වයක් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාලයට තිබුණු විශේෂ කාර්යයත් එයට අදාළව ආණ්ඩුව ගෙනෙන පනතට තිබුණු විරෝධයත්, මිලිටරිකරණය අධ්‍යාපනයට ගෙන ඒමත්, උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයත් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. එක ප්‍රශ්නයක්වත් විස‍ඳෙන්නේ නැහැ. මෙයට විරෝධීව අපි මතු කළ ප්‍රධානම කරුණ සමාන්තර විශ්වවිද්‍යාල ව්‍යුහයක් රජය විසින්ම ආරම්භ කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අඩු අවධානයක් යොමුවන බවයි. දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට අවුරුදු ගාණක් තිබුණු නේවාසිකාගාරයක් දැන් නාගරික සංවර්ධන අධිකාරියට අයිති කරගෙන. විශ්වවිද්‍යාලයට තිබුණු දේපළක් මෙලෙස අත්පත්කර ගැනීමෙන් තහවුරු වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මේ ආණ්ඩුව දක්වන ආකල්පයයි. අලුතින් ප්‍රතිපාදන ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව තියෙන සම්පත් පවා අහිමි කරමින් යනවා.
ආණ්ඩුවේ මේ හැම මැදිහත්වීමකින්ම පෙන්වන්නේ උසස් අධ්‍යාපනය ගැනවත් මිලිටරිය ගැනවත් කිසිම දැනුමක් නැති බවයි. අපි නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කොතලාවල විශ්වවිද්‍යාල පනත අහෝසි කරන්න කියලයි. ත්‍රිවිධ හමුදාවට උසස් අධ්‍යාපනය සඳහා මුලින් තිබුණු පනත අනුව ක්‍රියා කරන ලෙස අපි අවධාරණය කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියාගෙන දියුණු කරන්න ඕන තරම් දේවල් කළ හැකියි. ඒ ගැන ජාතික ජන බලවේගයේ කිසිම විරෝධයක් නැහැ.
ජාතික විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. විශ්වවිද්‍යාල පනතට ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන්නේ නැහැ කියලා. යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්න උත්සාහ කරන්නේ විශේෂිත කාර්යයන් සඳහා නෙවෙයි. නමුත් කලින්ම තිබුණේ ආරක්ෂක හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදීමේ විශේෂිත කාර්යය සඳහා. නමුත් අලුත් පනතින් සිවිල් ජනතාවටත් අවකාශ විවෘත කිරීම අපේක්ෂා කරනවා. ආණ්ඩුව කරලා තියෙන්නේ එක කඩතුලක් වහගන්න අමනෝඥ විදිහට කටයුතු කිරීමයි. තිබුණු විවේචනවලට ඇහුම්කන් දුන්නා නම් ඒ විවේචනවල හරය තේරුම් ගෙන කටයුතු කළා නම් ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ නැහැ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් කිසිම විවේචනයක් තිබුණේ නැහැ. සිවිල් කණ්ඩායම්වලට මිලිටරිමය ව්‍යුහයකින් උසස් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධවයි විවේචනය තිබුණේ. හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදෙන්න ඉඩකඩ පුළුල් කරන්න අවශ්‍යයි නම් ඒ සඳහා ක්‍රියා කරන එකයි ආණ්ඩුවට තිබුණේ. නමුත් රාජ්‍ය මැදිහත්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පෞද්ගලික උසස් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීමේ ආණ්ඩුවේ අරමුණ ඒ ලෙසම තියාගෙන මහජනතාව නොමඟ යැවීමට හදිසියේම විශ්වවිද්‍යාල පනතට සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය විදිහට අපි පැහැදිලි කරන්නේ මේ මඟින් ප්‍රශ්නය තවදුරටත් දික් ගැස්සී අවුල් වුණා මිසක් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මේ දී තිබෙන විසඳුම කිසිවෙකුත් පිළිගන්න එකක් නැති බව අපට පැහැදිලියි. තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජය කරන්න කටයුතු කළ යුතුයි කියන අපේක්ෂාව අපිට තිබෙනවා. අපේ සහයෝගය ජාතික ජන බලවේගය හැටියට එයට නිරන්තරයෙන්ම ලබා දෙනවා.
– අනුරාධා හේරත් (www.mawbima.lk)

You may also like

Leave a Comment